හිතවත් ශිෂ්‍යාවනි/ දෙමාපියනි,
ශාරීරික අධ්‍යාපනය තුළින් ශාරීරික සංවර්ධනයත්, මානසික සංවර්ධනයත්, සදාචාරාත්මක සංවර්ධනයත්, ළමාවිය සංවර්ධනයත් හා චිත්තවේගී සංවර්ධනයත් ඇති කරගත හැකි බව මුලින්ම ලොවට ප්‍රකාශ කරන ලද්දේ ග්‍රීක අධ්‍යාපනඥයෙක් වන ප්ලේටෝ විසිනි.
එවැනි දාර්ශනිකවාදියකු විසින් ලොවට ප්‍රකාශ කිරීමට හේතු වන්නට ඇත්තේ එදා ඔහු ජීවත් වූ සමාජයේ දක්නට ලැබුණු විවිධ දුෂණ, වංචා, අකටයුතුකම් ඔස්සේ ඔහුගේ මනස දිව යන්නට ඇතැයි මම සිතමි. ඒ අනුව එයට විකල්පයක් වශයෙන් උසස් දැනුමැති සමාජයක් බිහි කිරීමට අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩාව ද මහෝපකාරී වන බව ඔහු එදා තර්කාණුකූලව ඔප්පු කර එය කුඩා කල සිට මිනිසා ජීවිත කාලයේදී ම ප්‍රගුණ කළ යුතු බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව පසුකාලීනව ක්‍රීඩාව ශාරීරික අධ්‍යාපන විෂයක් ලෙස පාසල් විෂයමාලාවට ඇතුළත් කිරීමට අධ්‍යාපන නිලධාරීන්ට සිදුව ඇත. අද ශ්‍රී ලංකාවේ සමාජය ගැන විමසිල්ලෙන් කරුණු අධ්‍යයනය කරතොත් මා හටද දක්නට ලැබෙන්නේ එදා ප්ලේටෝ ජීවත් වූ සමාජයේ ඔහුට දක්නට ලැබුණු දෙය පමණක් බවය. එනම් දූෂණ, වංචා, මිනීමැරුම්, ළමා අපචාර, අල්ලස, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැනි උපද්‍රවවලින් පිරුණු සමාජයකි.
එහෙත් මාගේ පාසල් කාලයේදී ශ්‍රී ලාංකීය සමාජය ඉහත සඳහන් කළ අයුරින් පිරිහී නොතිබිණි. මා ගමේ පාසලක අධ්‍යාපනය ලද අතර පාසල් යන අතරේ වුවද යහළුවන් හා දුවමින් පනිමින් අවට ගස්වල ගෙඩි කඩමින් කාලය ගත කළෙමි. අද පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව එදා නොතිබූ අතර සොඳුරු ළමාවිය ඒ අයුරින්ම සතුටින් අත් වින්දෙමි. කොස්, දෙල්, මඤ්ඤොක්කා සමග බත් තුන්වේලටම ආහාරයට ගත් මා පාසල් ක්‍රීඩාව තුළින් ජාතික තලයට ඒමට වරම් ලදිමි. පසුකාලීනව එම ක්‍රීඩා කුසලතාවය ජාත්‍යන්තර ජයග්‍රහණ දක්වා රැගෙන ගිය අතර ඔලිම්පික් උළෙලවල් 3කට සහභාගී වීමේ වරම් ද ලබා ගැනීමට හැකියාව ලද බව පවසන්නේ එදා පැවති පාසල් අධ්‍යාපන රටාව කෙරෙහි ගෞරවය දක්වමිනි.
ගැහැනු දරුවන්ට සෞඛ්‍යය පිළිබඳ විද්‍යාත්මක දැනුම විශ්වසනීය මාධ්‍යයකින් ලබා ගැනීම තුරුණු වියට මෙන්ම ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වේ. නෙදර්ලන්තයේ විමෙන් වින් “Women Win* ආයතනයේ මඟපෙන්වීමෙන් “සර්ව්” නමැති ශ්‍රී ලාංකීය සමාජ සේවා ආයතනය හා එක්ව, කොවිඩ් වසංගතයට පසුව ”ගෙදර දී ගෝල්” නමැති ක්‍රියාකාරකම් පොතක් ගැහැනු ළමුන් සදහා සම්පාදනය කර ඇත. මෙය තුරුණු වියෙහි ගැහැනු දරුවන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සදහා ක්‍රියාකාරකම් මාධ්‍යයෙන් සැකසු වැඩසටහනකි.
ක්‍රීඩාව හා විනෝදය පදනම් කර ගැහැනු දරුවන් බලසතු කිරීම සදහා නිර්භීත වන්න, ක්‍රියාශීලී වන්න, සහ නිර්මාණශීලී වන්න යන මාතෘකා ඔස්සේ මෙම පොත සකසා ඇත.
මෙම ක්‍රියාකාරකම් පොත භාවිතා කොට ඔබගේ දැනුම, කුසලතා හා ආකල්ප දියුණු කර ගන්නා මෙන් මම ඉල්ලා සිටිමි.
දේශබන්දු ශ්‍රියානි කුලවංශ ඔලි
සභාපති
ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්
2021 ජනවාරි 21